ඉතින් කොසොල් රජතුමා තමන් දුටු අට වෙනි සිහිනය ගැනත් කියන්නට පටන් ගත්තා.
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාලිගා වේ දොරකඩ පැන් පිරුණු එක විශාල කලයක් තිබ්බා. ඒ කලේ වටේට තවත් හිස් කල ගොඩක් තබා තිබුණා. ක්‍ෂත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ සතර කුල වල මිනිසුන් අට දිසාවෙන් ම කලවලට වතුර අරගෙන ඇවිත් අර පැන්පිරී තිබුණු විශාල පිරුණු කලය ම පුරවනවා. ඒ විදියට පැන් වත් කරනකොට වත් කරන වත් කරන පැන් පිරී ඉතිරි ඉතිරී ගලා ගෙන යනව. ඒත් ආයි ආයිමත් ඒ පිරුණු කලේට ම පැන් වත් කරනවා. හිස් වූ කල දිහා බලන කෙනෙක් වත් නැහැ. මේක තමයි මම දැක්ක අටවෙනි හීනය. ස්වාමීනී, මේ හීනයට විපාක මොනවා ද?"
"මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ ම යි. අනාගතයේ ලෝකය පිරිහිලා යනවා. රටරාජ්‍ය දුප්පත් වෙනවා. රජදරුවනුත් දුප්පත් වෙලා අකුසලයට බර වෙනවා. යම් රජ කෙනෙක් ඉසුරුමත් ව වාසය කරනවා නම් ඔහු ගේ භාණ්ඩාගාරයේ පවා කහවණු ලක්ෂයක් වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒ රජවරු මේ විදියට දුප්පත් වුනා ම ගම් රට වාසී මිනිසුන් ලවා තමන් ගේ ම වැඩකටයුතු කර්මාන්ත ආදිය කරවනවා. රාජකාරි වලින් මිනිසුන් පීඩාවට පත් වෙනවා. ඒ විදියට පීඩාවට පත් වෙලා තමන් ගේ කර්මාන්ත අත්හැර දමලා රජ දරුවන් උදේසා ම වී, මුං, තල ආදී දේ ත් අනෙකු ත් වන ආරාම මල් ඵල වැල ආදියත් වගාදිගා කරනවා. රජ දරුවන් වෙනුවෙන් ම සේවය කරනවා. ගොවිතැන් බත් වලින් ලැබෙන වී ආදී දේ අරගෙන ගොස් රජ්ජුරුවන් ගේ ම භාණ්ඩාගාරය පුරවනවා. තමන් ගේ ගෙදර හිස් වී ගිය කොටුගුල් ආදිය දිහා බලන්නෙවත් නැහැ. ඒක හරියට හිස් වූ කල දිහා නො බලා, පැන් පිරුණු කලයට ම පැන් පුරවනවා වගෙ යි. මේ සිහිනය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා නව වෙනි හීනය ත් කියන්න. "
0 comments